Sunday, September 9, 2012

හොරකම

සීලවතී උපාසක නැන්දා සිමෙන්ති පඩියේ ඇණ තියාන දෝමනස්ස කල්පනාවක ගිලී හුන්නාය. මේ මාසේ පාලොස් වැනිදා. ගේ සාවියේ තුට්ටු දෙකක් නැහැ. විසිහත් වැනිදාට මුර දානේ. නැන්දා ඔලුව කසන්නීය.

සීලවතී නැන්දා ට එක රස්සාවක් කියා නැත. බුලත් පුවක් ටිකක් අහු වුණු දාට විටක් දෙකක් හදාන පේව්මෙන්ටුවේ බිම තියාන විකුණයි. මහ මාරකැට්ටුවේ අහක දාන එළෝලු ඩිංගක් අහුවුණු දාට කපා කුණු ඉවත් කර වට්ටියක දාගෙන පාර දිගේ විකුණයි. අහල පහල ගෙදරක දානයක් මගුලක් ඇතොත් උයා පිහා කීයක්‌ හරි සොයා ගන්නට අවස්තාවක් ලැබේ. කොයි දේ කළත් ඇයට මුරදානය වරදින්නේ නැත.

මේ මාසයේ සිද්ධ වූ දෙය නම් සීලවතී නැන්දාට එකම රස්සාවක් වත් නැති වීමයි. වර්ණ ගඩොලින් හැඩවෙන පේව්මෙන්ටුවට ඇය ගේ පැමිණීම මදි පුංචි කමක් නිසා පේව්මෙන්ටුව කොස්තාපල් රාලහාමි අතේ එන්නට එපා කියා පයින්ඩයක් එවා තිබුණි. ප්ලාස්ටික් කූඩා පැමිණ නැන්දාගේ අහක දාන එළෝලු පංගුව නතර කර තිබුණි. මගුලක් ඇතොත් දැන් ඉන්න එවුන් ගන්නේ හෝටලයේය. දානයක් දෙන්නට මහා වත්කමක් ඒ හරියේ උන්ට නැත. ඔයිං මෙයින් නැන්දාගේ ගේ සාවියේ තුට්ටු දෙකක් නැත. දෙපැත්තට දමන තීන්දුව කිරියාවට යොදන්නට නැන්දා ඉටා ගත්තීය. මේ ඉවසුවා ඇති.

කොහොම උණත් නැන්දා වැඩේට පේවී උන්නාය. පාලොස්වකට සිල් නොගත්තීය. පහුගිය දොහේ වෙනදා නොකෑ හාල්මැස්සන් කරවලත් කෑවාය. හයි හත්තිය නැතුව මේ වැඩේ කරන්නට බැරිය. කරන්න හෝ නොකරන්න පෙර සූදානම කොහොමත් වටී.

සුන්දරී කෙල්ල වැඩ ඇරී ගෙදරට ගාටමින් හුන්නාය. සුන්දරී ගේ නම සුන්දරී නොවේ, සුන්දරී කිව්වේ රූප සුන්දරියක් වගේ ලස්සන නිසාය. ලස්සනයි කිව්වට ඒ තරම්ම නොවේ. ඒත් අව්වට වේලෙන දූවිල්ලට කුරුලෑ ගැහෙන නැන්දලාගේ සාවියේ මූණු අතර යන්තමින් හෝ පැහැපත් කෙල්ලක් නිකම්ම රූප රාජිනියකි. කොහොම නමුත් ගුවන් සමාගමක රස්සාවක් හොයා ගන්නට නිකම්ම අමාරුයි. ඒ සාවියේ එහෙමත් රස්සාවක් කරන්නේ සුන්දරී කෙල්ලම පමණි. "ප්ලේන් එකේ උඩ යන එකම මදෑ" අම්මා නිතර කීවද සුන්දරී තවම ඉන්නේ බිමය.

"සුන්දරියේ මේ පැත්තට පොඩ්ඩක් ගොඩ වෙයන්කෝ" නැන්දා ඇයට කතා කරයි. මේ සැලැස්ම කොරන්නට වෙනත් හොඳ එකියක් ගන් තුලානේ නැත. සුන්දරියට ඉන්ටෑනැට් තියේ.

"අරක නේද නැන්දේ?" දීකිරට බළල්ලුත් සාක්කිලු. ඒකිටත් වැඩේ රහ වැටිලා වගේ.

"මං තීන්දුවක් ඇන්න ඉන්නේ" නැන්දා කීවාය.

"කරමු කරමු" කෙල්ල අනුමත කළාය.

දෙන්නාම මොහොතකට කල්පනා කළෝය.

"වැඩේට කවුද ගන්නෙ නැන්දේ?"

"කොටිකැලයා ගම්මු"

"හරි. ඌ නම් ඕන අස්සකින් රිංගලා එයි"

"මං පණිවිඩේ කියන්නම්. උඹ ඉන්ටෑනැට් එක ඇන්න වරෙන්"

"හරි නැන්දේ මම ලැප්ටොප් එක ගේන්නම්"

"එහෙනම් හෙට රෑට හොඳේ"

"හරි"

කෙල්ල ගෙදර ගොහින් ළඟදී ගත්තු සැටලයිට් රූපවාහිනී චැනල වලින් ක්‍රයිම් වොච් බැලුවාය. නැන්දා උම්මග්ගේ දිග හරවාගෙන එහාටත් මෙහාටත් කියෙව්වාය. සැලසුම පංකාදුවට හිතේ ඇඳේ. හෙට රෑට කොටිකැලයා වැඩේ තිතට කරනු ඇත.

"හපොයි බුදු නැන්දේ උඹනම් පෙරලන්නෙ ම බාල්දියක්"

කොටිකැලයා කඩා ගෙන පැන්නේය.

"උඹට බැරි දෙයක් නැහැනේ මයේ පුතේ"

"බාර දීපන් බාර දීපන්. යන්නේ මගේ බෙල්ලනේ"

"ගැස්සුනොත් පුතේ උඹ විතරක් නෙවෙයි ඔක්කොම ඉවරයි"

"හරි බං නැන්දේ, මං මාට්ටු වෙන්නේ නැහැ. ඕන එකෙක් හිතන්නේ අර ඇමරිකාවේ ගොලුප් ගහන එකා ගේම දුන්නා කියලා"

කොටිකැලයා ට කොටිකැලයා කියා නම දැම්මේ සමරසේකර අන්කල් ය. ගෑණිත් දමා ගිය ගෙදෙට්ට වී බෝතලයට හා රේස් අස්පයින්ට විශ්‍රාමය කැප කරන අංකල් හවහට ෂොට් එකක් දාගෙන කොලු කුරුට්ටන් සමග හන්දියේ සිංගර් එකේ රෙස්ලින් බලන්නට සෙට් වන්නෙකි. රෙස්ලින් මැච් අස්සේ ක්‍රීඩා චැනලයේ වෙන වෙන ඇඩ් පෙන්නයි. ඒ අතර නිතරම මතුවන ලෝකප්‍රකට ගොල්ෆ් ක්‍රීඩකයා තමන් අසළ ඉන්න කොලු ගැටයාගේ නිවුන් සහෝදරයා වගෙයි කියා මුලින්ම දැක්කේ උන්නැහේ ය. ඉංගිරිස් ඇබින්දක් දන්නා සමරසේකර අංකල් ක්‍රීඩකයාගේ නම සිංහලට හරවා කොලුවාට බවුතීස්ම කළේය.

සුන්දරිය ලැප්ටොප් එකත් අරගෙන ගෙට ගොඩ වූවාය.

"අයියේ මේකයි ගේම් ප්ලෑන් එක"

ඈ බ්‍රව්සරයේ පින්තුර පෙන්නමින් කතා කරයි.

"මේන්න තැන. සුදුපාට පරණ බිල්ඩිම" නැන්දා පනින්නීය.

"අනේ බං නැන්දේ කියාපන්කෝ බැංකුවක් කඩන්න. මේ හොල්මන් මාලිගාවේ රිංගවන්නේ"

"බැංකු වලට සල්ලි නැහැ බං. උන් වේලෙනවා. ඉස්කෝලේ මහත්තයාගේ පුතාගේ ලෝන් එකත් ඕන් හරවලා එවලා."

"එහෙනම් රත්තරන් බඩු සාප්පුවක්"

"එව්වයේ හොරු එන්නේ පෝලිමේ බං. තරගකාරී සමාජේ"

"අනේ මන්දා, උඹටත් හිතෙන එව්වා"

"මේන්න අයියේ අයිටම් ටික" කෙල්ල පත්තර වලින් එකතු කල කොළ මිටිය අතට දුන්නාය.

"දැන් මට මොනවාද දෙන්නේ උඹලා"

"විකුණලා තුනෙන් පංගුවක් දෙනවා" නැන්දා කියයි.

"හරි මට තුනෙන් පංගුවක් එපා. හයෙන් පංගුවක් ඇති. හැබැයි මට මේකයි මේකයි ඕනේ"

"අර මක්කටෙයි?"

"අයියේ මේක බොහොම පරණ එකක්. කාටද මේක දෙන්නේ?"

"හපොයි බුදු නංගියේ ඒක විතරක් අහන්නෙපා. ඒක මේ කතාවේ නැහැ හොඳේ"

"එතකොට අනික?"

"ඒක මට මෙට්ටේ අස්සේ තියා ගන්න. මේ දවස්සල මට ගේමක් සෙට් කරන්න එකෙක් ඉන්නවා. මේවා ඉතින් පෞරාණික බඩු නෙ. මුවාත් තිබ්බොත් කපතෑකි මස්කට් වගේ."

"හරි එහෙනම් වැඩේ සැට්. හෙට හවහට මෙතනටම වරෙල්ලා" නැන්දා සබාව විසිරෙව්වාය.

කාලය ඉගිල ගියේ වික්ෂිප්ත තිදෙනෙකුගේ අවිනිශ්චිත සිතුවිලි වල බලයෙනි. වේලාව පැමිණියේය. සුන්දරිය කළු තුන් කාලේ කලිසමත් කළු අත් දිග ටී ෂර්ට් එකත් දාගෙන ඔලුවේ කෙස්ස කළු රෙද්දක ඔතා ගත්තාය. ඉස්සුණු ලැම නොපෙනෙන්නට බඩ වටේට ඇතුලෙන් තුවායක් බැඳ ගත්තාය. චැලියේ නැගී ඉද්ද ගැසුවාක් මෙන් සීලවතී නැන්දලාගේ දිහාට පියාඹා ආවාය. සුන්දරීට චැලි පදින්නට ලයිසමක් නැති. ඒත් ඒ සන්දියේ තාත්තාගෙන් පුරුදු වූ තරමට ඒකිට හදිස්සියට කොහේ හෝ යාගත හැක. මේක අනිවාර්ය හදිස්සියකි. කොහොමත් පොලිසියෙන් ඇල්ලුවොත් ලයිසොමට වඩා දේවල් මාට්ටු වේ.

සුන්දරී අම්මට කිව්වේ නයනලයි දිහා යන බවයි. නයනාට කිව්වේ අම්මලා ඇහුවොත් එහි ආපු වගත් චුට්ටකට හන්දියට ගිය වගත් කියන්නට කියාය.

කොටිකැලයා ආගත නාගත කියවයි.

"උඹල ඕන් උන්නාන්සේලා පාරට බස්සලා තමයි නවතින්නේ"

"ඉතින් බං උන්නාසේලාට දානේ පුදන්නෙත් අපිමනේ"

"ඒ වුණාට උන්නාන්සේ ලා කැමති යැ ඔව්වට"

"ඔව් ඉතින් පොඩ්ඩක් පාරට බහියි, ඒත් මේ මුරදානෙට කියා වැටහෙයි මයේ පුතේ"

"උන්නාසේලා වැඩේ දිගටම අදීද?"

නැන්දා මොහොතක් සිතුවාය.

"හ්ම්ම්... උඹට ඇත්තම කියන්න උන්නාන්සේ ලා කොරන්නේ අහවල් කෙන්ගෙඩියක් ද කියලා තේරෙන්නේ නැහැ බං. පාරට බහිනවා නම් මදැයි කල්. ඔව්වා හිතන්න ගියොත් මේක කෙරෙන්නේ නැහැ"

"ඔය කිව්වට උඹ ඉතින් ලබන පූජාවටත් දෙනවා උන්නාසේලාට කතිරේ"

නැන්දා මොකුත් නොකීවාය. උන්නාන්සේලාට ඉතිරිව සිටින සුළු හිතෙසිවන්ත පිරිසෙන් නැන්දා පළවෙනියෙකි.

මේ මුළු වෙලාවේම සුන්දරී පාරේ ලයිට් ඒක යට මල්පත්තරේ කියෙව්වාය. "සපුමලී" පත්තරේ "මිහිරාණි" කතාව ඇය නොවරදවා කියවයි. ඇය එහි අභිෂේක් ට කැමතියි. ඔහු හැන්ඩියෙකි. ඒත් ඉතින් අද නම් චැලියේ දාගෙන යන්න වෙන්නේ මල මුස්පේන්තුවෙකි.

නුහුරු බිය මිශ්‍ර හැගීමකින් තෙසිත ම සසැලේ. මේවා පුරුදු වැඩ නොවේ. ඒත් හිත ඇත්නම් පත කුඩා ද? නාකි උපාසකම්මෙකුට, මල් පත්තර කෙල්ලකට හා ආතක් පාතක් නැති රස්තියාදු කාරයෙකුට අධි ආරක්‍ෂිත කලාපයත් කජ්ජක්ද? යටි හිත දිරිය ගෙනේ.

වෙලාවට කොටිකැලයා චැලියේ නැග්ගේය. කෙල්ල එය පණ ගැන්නුවාය.

"රත්නත්තරේ පිහිටයි. හැම දෙයියොම ආරස්සා කොරන්න ඕනේ" සීලවතී නැන්දා ආරස්සා ජීවම් කල තෙල් ඇබින්ද බැගින් දෙන්නාගේම නළලේ ගෑවාය.

"හප්පොච්චියේ කෙල්ලේ තව නූලෙන් අමතක වෙනවා" යන්න ඔන්න මෙන්න තියා නැන්දා කීවාය.

"මොකද්ද නැන්දේ?"

"ඇයි බං වන් වන් නයින් කාරෙක"

වන් වන් නයින් කාරෙක මාර කාරෙකකි. ඇමරිකාවේ නයිට් රයිඩරයා අනුගමනය කර හදා ඇති එය අපරාධ ඇල්ලීමේ රුසියෙකි.

"හරි නැන්දේ ඒක මං බලා ගන්නම්. මම කෝල් එකක් දෙනවා ඉස්සරහ ගේට්ටුව ළඟ සැක කටයුතු කෙනෙක් ඉන්නවා කියලා. එතකොට ඉස්සරහට එන්නේ නැතෑ. කොටි අයියා පස්ස දොරෙන් එන්න. මම ඉන්නවා එතන"

කෙල්ල සැහෙන්න දියුණුයි. නැන්දා ආඩම්බර වූවාය.

"හැබැයි ඔය මක්කා කොලත් අපි අහු වෙනවා කෙල්ලේ. අපේ පොලෝසියේ ඇහැ වහන්න කාටවත් බැහැ බං" නැන්දා සුසුමක් හෙළුවාය.

"ගෙදරට එන්නේ හොයාගෙන ඔන්න. උන්නැහේලා අල්ලන හොරකම් වල හැටියට මේකත් කජ්ජක්ද? ඕං එදාට පත්තර පිටු පිරෙයි අපි ගැන" ඇය ඔහේ කියවයි.

"මට ඒත් වාවගන්න බැරි මුර දානේ බං. ඒක දීල හිරේ ගියත් සැපයි"

කෙල්ල වැලි කලම්බා ගෙන සුදු පාට පරණ බිල්ඩිම සොයා ඉගිලුණාය.

පස්සා දොරෙන් කොටිකැලයා බිල්ඩිමට යවා හිමීට අයිනක නවත්තා ගෙන ඉන්නා ඇයට සිකුරුට්ටා පෙනේ. ඌ ගොරෝද්දේ අදිමින් බුදිය. මොකද්දෝ අරුම හීනෙක ඌ හිරවී තිබේ. හෙට ඕකා උගේ හීනේ දුටු හොරකම ගැන පත්තරේ පස්ස පිටුව පුරවනු ඇත. කෙල්ල සුසුමක් හෙළා ළය සැහැල්ලු කර ගත්තාය.

[සත්‍ය සිද්ධියක් ඇසුරින් නොවේ. නම් ගම් හා චරිත වෛකල්පිතයි. වඩාත්ම වැදගත් දෙයනම් ලේඛකයා ගේ සිතේ උපන් කල්පිතයක් වන මේ කතාව අතිශයින්ම අතාත්වික බවයි]

23 comments:

  1. 119 car eken ena ayath sundariita help karanavaa.... Horakama ivara vela yana gaman badu tika gedarata transport karalath denavaa...ehema vuna nam thava tikak unrealistic neh...:D

    ReplyDelete
    Replies
    1. අර චාමි කියන්නා සේ මට ඔය වගේ පට්ට එව්වා ලියා ගන්න බැහැ. හැරී පොටර් වගේ ෆැන්ටසි කතාවක් ලියන්න ගොහින් තමා ඔන්‍න‍ මේක ලියවුණේ.

      Delete
    2. සුජීව මගෙ කොමෙන්ට් එක වැරදියට අරගෙනද මන්දා ?

      අවංකවම මමනං මේක හොඳින්ම රස වින්දා..සමහරවිට වෙනත් සම්මත් රාමු මගෙ ඔලුවෙ නොතිබුන නිසා වෙන්න ඇති.

      හැබැයි මම දැක්කෙ ඇත්තම සිද්ධියක් අතිශයෝක්තියකින් පැවසීම හරහා කිසියම් අතාත්විකබවක් එක්කරන්න හදනවා වගේ..මොකද ආරක්ෂිත ප්‍රදේශයක පරණ ගොඩනැගිල්ලකින් පරණ බඩු ටිකක් ගෙනිච්ච කතාව අතාත්වික වුනත් නොවෙන්න බැරි දේකුත් නෙවෙයිනෙ:)

      ඒ කතාවෙම ඉතුරු ටික කියලා හිතුන කොටස තමයි මම කිව්වෙ..:)

      Delete
    3. [[අර චාමි කියන්නා සේ මට ඔය වගේ පට්ට එව්වා ලියා ගන්න බැහැ]]

      නැහැ ලකී, චාමි කියූ දෙ ඔයාට තේරිලා නැහැ. එයා කියන සිරා ලේඛකයා කවුද කියා හොයා ගන්නකො.

      මට ඔබ කියන කාරණය තේරුනා. ඒත් මට හිතුනේ ඔබ මා නොදන්නා සත්‍ය කතාවකින් කොපි කරනවා කියලා. අනේ මේක නම් දුරුවල ලේඛකයෙකුගේ අතාත්වික කල්පිතයක් හොඳේ. මේ වගේ එව්වා ඇත්තටම වෙනවාද? මම නම් දන්නේ නැහැ.

      Delete
  2. හොරකම ගැන සත්‍ය සිද්ධියක් ඇසුරින් නොවේ hmmmmmmmmmmmm

    ReplyDelete
    Replies
    1. මේ අතාත්වික කතාවක් ලිවීමට කල පර්යේෂණාත්මක උත්සාහයක්.

      Delete
  3. ඔබ ආධුනිකයෙක් වශයෙන් යම් කතාවක් ගොතන්නට උත්සාහයක් ගෙන තිබෙනවා. නමුත් මෙහි දුර්වල ලක්ෂණ බොහොමයි.
    'සොරකම්' ෂානරයේ කතා වල මූලික ලක්ෂණය විය යුත්තේ අවසානයේ පාඨකයා මබ්බෝධ වී තමුන්ගේ කෙහෙවල්ල තමුන්ම කඩාගෙන කෑමට සැලැස්වීමයි. මේ කතාවේ එම ලක්ෂණය නැහැ.

    හැකිනම් ලාංකිය ප්‍රබන්ධ සාහිත්‍යය් පුරෝගාමියා වන අජිත් රෝහණයන්ගේ ප්‍රබන්ධ කියවා යම් දැනුමක් ලබාගන්න බලන්න.

    ReplyDelete
    Replies
    1. අජිත් රෝහණයන් සහ උන්නැහේගේ "හොල්මන් ලේඛකයා" [ghost writer] කියන්නේ චාමි මට හිතා ගන්න බැරි තරම් දුරක්. මේ අතාත්වික කතාවක් ලියා ගන්න දරපු ආධුනික උත්සාහයක්.

      Delete
  4. කතාව ගොඩ නගු හැටි නම් අපුරුයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඒත් අපට වඩා දක්ෂ කට්ටිය ඉන්න බව තමා මාද්‍ය වාර්තා ඇහුවම හිතෙන්නේ. මට මේ කතාවට කොටි ත්‍රසතවාදීන් සම්බන්ධ කර ගන්න බැරි උනානේ.

      Delete
  5. නියමයි නියමයි කියලා වැඩක් නෑ

    ReplyDelete
    Replies
    1. කියලා ම වැඩක් නැහැ.

      Delete
  6. කතාව අපූරුයි සුජීව. භාෂා විලාශය , කතාවේ ගලා යෑම, කුතුහලය නොකඩවා පවත්වාගෙන යෑම මේ හැම දෙයින්ම ඔබ දක්ෂ ලේඛකයකු බව පෙන්වනවා. ඒත්, කතාවේ අන්තිමට ඒ දෙන්නා යන්නේ මොන හොරකමකද කියලා මට වැටහුනේ නැත්තේ ඇයි?

    ReplyDelete
    Replies
    1. ඒ ඔයා සුදුපාට පැරණි බිල්ඩිම ගැන නොදන්නා නිසා නේද? ඒක හොයා ගන්නකො. ඊට පස්සේ වැටහෙයි.

      Delete
    2. කටුගේ ගිරිගෝරිස් මුත්තාගේ පිලිරුව ඉදිරිපිට ඇල්බර්ට් චංද්‍රවංකය කොලඹ 7

      Delete
  7. මගේ ආධුනික කතාව දුටු කෙටිකතා විචාරකයෙකු එහි දුර්වල තැන් හුවා දක්වමින් පහත සඳහන් විචාරය දිවයින පුවත්පතෙහි ලියා තිබුණි.

    http://www.divaina.com/2012/09/09/feature17.html

    මගේ කතාවට එරෙහි විවේචන පවා පල කරන මගේ ප්‍රජාතාන්ත්‍රික ගතිය නිසා එය ද මෙහි පල කරන්නට සිත් විය. තම මතයට එරෙහි වූවන්ට ද සමතැන ලබා දෙන මා වැනි අවංක බ්ලොග්කාරයින් දුර්ලභ බව වෙසෙසින් හුවා දක්වන්නට කැමතියි.

    විචාරකයාට කීමට ඇත්තේ මෙය තාත්වික කතාවක් හෝ සැබවින් සිදු වූවක් ලෙස නොසිතන ලෙසටයි. අතාත්වික ෆැන්ටසි නිර්මාණකරණයේ යෙදෙන්නට ග්රීම් සොහොයුරන්, හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩසන්, ජේ කේ රෝලින්, අජිත් රෝහණ වැනි ප්‍රවීනයින්ට ඇති අයිතියම මට ද ඇති බව කරුණාවෙන් සලකන්න.

    ReplyDelete
    Replies
    1. අර දිවයින ආටිකල් එකේ ලින්ක් එක වැරදියි කියා පිටරට ඉන්න යාලුවෙක් කියූ විට මට තරු විසි විය, චාමි ඉහටත් චිත්‍රණය කර ඇත්තේ විසි වෙන තරු වේ.

      Delete
  8. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
    Replies
    1. හිත ඇති කතන්දර වැඩියෙන් ලියවෙන්නයි
      අතරෙදි ඉස්පැෂල් දැනුමෙන් හැඩ වෙන්නයි
      නිතරම නිරෝගී සුවයෙන් සැනසෙන්නයි
      හිතවත ඔබට දහතුන ජය ජය වෙන්නයි

      Delete
  9. සුජීව මේ ඉසව්ව මට නෙත ගැටුණේ අද තමා.. එන්නං දිගටම.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නැවත එන්න

      Delete