Tuesday, August 23, 2011

පාලු කඩේ

වැල්ලගොඩේ හන්දිය ළඟ මූද කාපු තැන, වැලමිටි වංගුවක් ගන්නා පාරෙන් ගොඩ පැත්තේ තට්ටු දෙකේ කඩයකි. විටෙක යමෙකු කිසියම් වෙළඳාමක් පටන් ගත්තත් ටික දිනකින්ම නැවත වසා දැමෙන මේ කඩයට ගම් වැස්සෝ "පාලු කඩේ" කියා කියති.

කොළඹ උපන් මා වැල්ලගොඩට අමුත්තෙකු නොවන්නේ පියසෝම බාප්පා පොඩි අම්මා කැන්දාගෙන වැල්ලගොඩේ පදිංචියට ගිය බැවිනි. පුංචි කාලේ පටන් නිවාඩුවට පොඩි අම්මලාගේ දිහාවේ යන්නටත් නංගිත් මල්ලිලා දෙදෙනාත් සමග ලුණු රස මුහුදු හුලඟේ දුව පනින්නටත් පුරුදුව උන්නෙමි. කොහොමත් අපිට කියා ගොස් නවතින්නට පිට පලාතක වෙනත් අමුත්තන් නොවීය. ඒ නිසා හුඟක් නිවාඩු කාලවල දෙතුන් වරක් බොරුවට බැහැ කියා මා එහි ගෙන ගොස් දැමීම අම්මාගේ සිරිතයි.

පාලු කඩේ ඒ සන්දියේ තිබ්බේ බුලත් කඩයකි. බ්‍රම්පි සීයා කියා කෙනෙකු වට්ටියේ බුලත් පිරිමදිමින්, පුවක් සූරමින් හිඳිනු මට යන්තමින් මතක තිබේ. නිසි පිරියම් නොයෙදීම නිසා දුම් අඟුරු පාට ගැහුණු උස බිත්ති විසින් ඔසවන ලද මකුළුදැල් ගහන සොල්දරේ දුන්කොල මිටිය එල්ලා තිබුණි.

දැල්  අදින කාලෙට වැල්ලට මාළු ගන්නට ගොස් එන අතර විටක් හපන්නට බුලත් කඩේට ගොඩ වදින බාප්පා එක්ක යන ගමන මගේ ලොකුම විනෝද ගමනකි. කොළඹ හතර මායිමක නැති බුලත් කඩේ මට කොහොමත් අරුමයකි.

"හා හා කොළඹ දරුවා ඔව්ව පොඩි උන්ට අකැපයි" උඩ පැන පැන දුන්කොල කැබලි කඩා කන මට බ්‍රම්පි සීයා කෑ ගසයි.

ඒ කාලයේ ම මාළු බයිසිකල් කරුවන් පොඩි අම්මලාගේ ගෙදරට අලුත් මාළු ගෙනත් දෙන්න පටන් ගැනීමත් සමග වෙරළ ගමන ක්‍රමයෙන් නතර විය. පාලු කඩේ ඉදිරි දොර දිගටම වසා ඇති බව මට පෙනී යන්නට කල් ගත වූයේ එබැවිනි.

"අර මොකද පොඩි අම්ම බ්‍රම්පි සීයාගේ කඩේ වහලා"

"අනේ පුතේ බ්‍රම්පි සීය හදිස්සියේ අන්තරා උනා. තුන් මාසේ දානෙත් ඉවරයි දැන්"

ප්‍රියයෙකු ගෙන් වෙන්වී නොහුන් මා වික්ෂිප්ත වූයේ කිනම් හැඟීමක් පිට කල යුතුද කියා යි. බ්‍රම්පි සීය මලා කියූ විට දුකක් ආවත් එය එලියට දැමීම නොහොබිනා බවක් සිත කීය. "එයා අපේ නෑයෙක් නොවෙයිනේ."

හඬන්නට සිදු වූ ප්‍රියයෙකු ගෙන් වෙන්වීම ඉන් නොබෝ කලකින් ම සිදු විය. හරි හමන් ව්‍යායාමයකින් තොරව ආණ්ඩුවේ පුටුවක්‌ රත් කරමින් හුන් පියසෝම බාප්පා අප හැර ගියේ පෙර දැනුම් දීමකින් තොරවයි. මගේ ගෙදර තරමටම මේ ගෙදර දුව පැන හුන් මා ඔවුන් සමග එකට වැටී හැඬුවා මට මතකය. මල ගෙදර නිමවී හත් දවසේ දානේටත් හිඳ අම්මා සමග ආපසු එනවිට නම් ගෙදර තත්වය තරමක් යහපත් වී තිබුණි. මගේ ආශ්‍රය නිසා පොඩි උන් තුන්දෙනාගේ සාංකාව මැකුණු බව පොඩි අම්මා කීවාය.

පාලු කඩේ නැවතත් විවෘතව තිබුණි. කෙසෙල් කැන් කිහිපයක් එල්ලා, ටොපි සීනි බෝල බෝතල් වල දමා, හැලප සීනි බනිස් විස්කිරිඥ්ඥ වීදුරු අල්මාරියේ දමා තේ කඩයක් එහි ලැගුම් ගෙන ඇත.

පොඩි අම්මා ජීවිත සටනට පිලිපන්නාය. බාප්පාගේ පැත්තෙන් නෑ වෙන අවිවාහක කමලාවතී ඉස්කෝලේ නැන්දා ඒ ගෙදර කන්තෝරු කාමරයේ පදිංචියට ආවාය.

"කොච්චර දෙයක් ද ළඟ කෙනෙක් වත් ඔහොම ඉන්න එක" අම්මා හිත හදා ගත්තාය.

"කේන්දරේ පාලු ගෑනි. ගෙදර මූසල වෙයිද දන්නෑ" තාත්තා පස්සට ඇද්දේය.

"මම කියල මොනවා කරන්නද අක්කේ? අඩු ගානේ කාමර කුලියවත් එනවනේ." පොඩි අම්ම තීන්දුව දුනි.

ආයිමත් ඒ පැත්තේ යන්නට කලක් ගත විය. පොඩි අම්මාට ජීවන සටන කරන්නට ඇති නිසාවෙන් අම්මා මා එහි යන එක ගැන කැමැත්තක් නොදැක්වුවාය. දඟ නොකර ඉන්න බවට හතර අතේ පොරොන්දු වී එහෙ ගිය ගමන් වෙනස හිතට වැදුනි. බාප්පා නැති ගෙදර අමු සොහොනකි. ගෑනු ආණ්ඩුවේ සීමා කිරීම් තුල අනතුරට පෙර වැළැක්වීමේ ක්‍රමවේදය නිසාවෙන් එය තාපසාරාමයක් බවට‍ පත් වී ඇත. මටද කියවන්නට පොතක් ලැබුණි. කමලාවතී ඉස්කෝලේ නැන්දා අපට පාඩම් කියා දුන්නාය. එහෙ මෙහෙ දුවන පොඩි අම්මා වරින් වර බෙල්ල දමා ඇයට හූ මිටි තබා අපේ අයිතීන් වළලන කුමන්ත්‍රණයේ වැඩ බැලුවාය.

පාලු කඩේ නැවතත් වැසි ඇත. අහක දැමු ටොපි බෝතල් තවම කඩේ අයිනේ ඇත.

"ඒ ගෑනිගේ මිනිහ මහා බේබද්දා"

කඩේ ගැන විමසන මට පොඩි අම්මා කියන්නීය.

"ගෑනි උනන්දුවෙන් කලේ. කොහෙද අරූ බීගෙන ඇවිත් බඩු පොලේ ගහනවා"

"ඔය කඩේ පල දෙන්නේ නැහැල්ලු නේද නංගි"

ඉස්කෝලේ නැන්දා කතාව මගෙන් උදුරා ගත්තාය.

"අනේ ද කියන්නේ. මිනිස්සු කිව්වා ඔය ගෑනිට. පලාතක එකෙක් ඕකේ කඩ දාන්නේ නැහැ"

"ඕක දන්නේ නැද්ද ඒ ගෑනි. පන්ඩිතකම මිසක්. හොඳ වැඩේ"

ඉස්කෝලේ නැන්දා කඩේ ඉරණම සාධාරණය කළාය. කතාව අස්සෙන් ලිස්සා ලොකු මල්ලිත් එක්ක ටයර් පදින්නට ලැබුණු අවස්තාව මා පැහැර හැරියේ නැත.

මෙලෙස පොඩි අම්මලාගේ ගෙදර එන වරින් වර පාලු කඩේ නව ව්‍යාපාර ඇරඹීමත්, ටික කාලෙකින් එය වැසී යාමත් සිදු විය. වී මෝලක්, සයිකල් කඩයක්, වෑල්ඩින් වැඩ පොලක් හා පසු කාලෙක ජනසවිය ඉලක්ක කරගත් නැති බැරි එකෙකු දැමු හතු කඩයක් ද එහි විවෘතව ටිකෙන් ටික වැහැරී ගොස් අතුරුදන් විය. පොඩි අම්මාගේ දහදිය මහන්සියෙන්, ඉස්කෝලේ නැන්දාගේ පඬි වදනින්, දිනෙන් දින පන්තියේ පෙරට යන දරු තිදෙනාගේ හැකියාවෙන් ඒ ගෙදර කාලය ගෙවී ගියේය. වරින් වර නිවාඩු කාලවල මගේ රස්තියාදු සිහින ද එහි ඉපිද උපන්ගෙයිම මියෑදුනි.

"මං ලොකු උනාම වැල්ලගොඩේ ලොකුම බිස්නස් එක දානවා" වයසින් වැඩෙන මගේ හිත ලොකු කතාවක් කියයි.

"ඒ කොහෙද?" අයියාගේ විස්කම් ගැන උපන් විශ්වාසයෙන් නංගි අසයි.

"පාලු කඩේ"

"මොනවද දාන්නේ?" මල්ලිලාට ඉස්පාසුවක් නැත.

"තවම මං හිතනවා. අයිඩියාස් කිහිපයක් තියෙනවා" මං ලොකු කමට කියමි.

"කොළඹ පුතා දන්නවද ඔතන භුමි පාලු තැනක් බව" තරවටු හඬින් ඉස්කෝලේ නැන්දා අසයි.

"මං දාන්නේ උඩ තට්ටුවේ, භුමියේ නෙවෙයි" අවලං කතාව මගෙනි.

"තමුන් දන්න ඉටිගෙඩිය" මේච්චල් කරන්ට බැරි ඉස්කෝලේ කොලුවන්ට කියන ලොකුම කුනුහරුපයෙන් නැන්දා මට දමා ගසන්නීය.

"ඔය ඔක්කොම අන්ධ විශ්වාස" මගේ සිත තුල හුන් විරෝධයට වචන මුණ ගැහුනේ පළමු වරටයි.

"
අන්ධ විශ්වාස? දන්නැති දේ අහගන්නවලා. ඔය වගේ දේවල් වල බොහොම ගැඹුරු ඇත්තක් තියෙනවා. මිනිස්සු ඔව්ව අදහගෙන ඉන්නේ අනාදිමත් කාලෙක පටන්"

"මේ ගොල්ලෝ පැහිල වැඩියි" වරිග නීතියට පිටු පෑවෙකුට මෙන් වට කර ගහන්නට පොඩි අම්මාද එක් වේ.

"ගෙවල් වල, ඉඩම් වල භුමි දෝෂ තියෙනවා. පල දෙන්නෑ විතරක් නෙවෙයි ජීවිත හානිත් වෙන්න පුළුවන්" නැන්දා දේශනා කරයි.

"පියසෝම අයියගේ කතාව ගැනත් සුන්දරමුල්ලේ සාත්තර පොලෙන් කිව්වේ ඕකනේ අක්කේ" පොඩි අම්මා ගවුම් කරේ කඳුළු පිහිමින් කියයි.

"මේ ගෙදර නිසා අයියට අපළ තිබ්බලු. අනේ මට කලින් කිව්වා නම් ණය වෙලා හරි මං හදවනවා."

"වෙන්න තියෙන දේ වුනාට පස්සේ මොනවා කරන්නද?" නැන්දා කියයි.


අපේ ගෙදර එතරම්ම  කේන්දර සාත්තර විශ්වාස නොකරන බැවින් මේ කතාව මගේ හිත තුල දැවැන්ත විවාදයක් ඇති කළේය. පොඩි අම්මා සුන්දරමුල්ලේ යන්නේ මා දන්න කාලේ ඉඳලයි. ඉතින් ඕක බාප්පා මැරෙන්න කලින් ම හොයා ගන්න තිබ්බේ. මං එහෙම කිව්වේ නැත්තේ බයට වඩා ඇය තවත් හඬන්නට ඉඩ ඇති බැවිනි.

කාලය ඉගිලී ගොස් මට දිග කලිසම් ඇන්දවිය. නංගි ලොකු ළමයෙකු වී අප දිහා යටි ඇහින් බලන ශිල්පය ප්‍රගුණ කළාය. මල්ලිලා පන්තිවල පලවෙනියන් වන බව අම්මා කෝන්තර ස්වරයෙන් මට හැඟවීය.
ටියුෂන් නිසා මගේ වැල්ලගොඩේ ගමන බෙහෙවින් අඩු විය.

ආයිමත් විවේකයක් ආවේ උසස් පෙළ ලියා ගෙදර උන්නු සන්දියේ ය . කාලෙකින් යන වන්දනාවක් සේ
වැල්ලගොඩේ යන්නට තනිවම මම පිටත් වුනෙමි. වසර කිහිපයකින් ඇදී ගොස් සිටි පොඩි අම්මා මා පෙර සෙනෙහසින් ම පිළි ගත්තාය. ඇගේ නොවක් උත්සාහයෙන් ගෙදර ආර්ථිකය තරමක් යහපත් වී ඇති සෙයකි. බිත්ති පින්තාරු කල ගෙදරට විදුලි බලය ලැබී තිබුණි. කළු සුදු රුපවාහිනියක් දත් විලිස්සා ගෙන සාලයේ සිනා සේ. නංගි නිතර තම කාමරයේ හුන් අතර, මල්ලිලා ගේ විභාග වැඩ නිසා මට කතා කරන්නට ඉතුරු වුනේ ඉස්කෝලේ නැන්දා පමණි.

"නැන්දා ඇයි මැරී කලේ නැත්තේ?"

"මගේ කේන්දරේ අඟහරු හතේ"

"ඉතින්..."

"එහෙම අයට බඳින්න බැහැ"

"බැන්දොත්?"

"බඳින්න වෙන්නේ නැහැ ළමයෝ. මොකක් හරි වෙලා වලකිනවා"

"ඉතින් නැන්දා ට්‍රයි කළේවත් නැද්ද?"

"ඒ මොකටද? කොහොමත් බැරි එකේ නිකම් මහන්සි වෙන්නේ"

"මනස්ගාත"

"මනස්ගාත වෙන්නේ කොහෙද? සහතික ඇත්ත"

"කිසි පදනමක් නැහැනේ. හා කියන්න බලන්න මොන හේතුවක් උඩද විශ්වාස කරන්නේ?"

"ඉතින් මේ මං ම ගන්නකො. මගේ අඟහරු හතේ. මං බැන්දේ නැහැනේ"

"නැන්දා බැන්දේ නැත්තේ එහෙම කියල තියෙන හන්දා නේ"

"ඔව්. කොහොම හරි බැන්දේ නැහැනේ"

මේක  මට අපබ්‍රන්ශයක් මුත් මෙය නැන්දාට පැහැදිලි කල නොහැක. නැන්දාට තියා මටවත් නොතේරේ. කේන්දරේ කියල තියෙන නිසා බැන්දේ නැති නැන්දා කේන්දර කතාව හරි යයි කියන්නට එයම උදාහරණයට ගන්නීය.

උසස් පෙල යන්තමින් පාස් මට බැංකුවක රස්සාවක් ලැබුණි. ඒ සී එකේ සීතල හුළඟ මිස මුහුදු හුලං වදින්නට මට ඉස්පාසුවක් නොවීය. බැංකුවේ ඉහලට යාමත්, රෝද හතරක් උරුම වීමත්, ඉදිරි අසුනට බෝනික්කෙකු ලැබීමත්, ඇය හා විවාපත් වීමත් මේ අතර සිදු විය.

විවාහයෙන් පසු නෑ ගමනට වැල්ලගොඩට එන විට පාලු කඩේ බියුටි සැලුන් එකක් දමා තිබුණි. කොළඹින් ආ නෝනා කෙනෙකු එහි පන්ති ද කරන බව පොඩි අම්මා කීවාය.

"ඕකත් එච්චර තමයි" විශ්‍රාමිකව හුන් නැන්දා බංකොලොත් ලියවිල්ල සකසන්නට විය.

"මොන බොරුද? ඔය කඩේට කෙල වෙන්නේ බිස්නස් රීසන් එකක් නිසා"

අලුතෙන්  උගත්  බැංකුකරණය ආයෝජන හා ආර්ථික විද්‍යාව ගුරු කොට ගනිමින්  කල්පිත ගොඩ නගන්නට පටන්  ගතිමි .

"දැන් බලන්න එක බිස්නස් එකක් වත් අත්‍යාවශ්‍ය ඒවා නොවේ. ඔක්කොම නිකම් වැඩක් නැති ඒවා. හන්දියේ මේන් බිස්නස් සෙට් වෙලා තියෙන්නේ. හැමදාම ඔතන කරන්නේ ඒ හැටි වැඩක් ඇති එකක් නොවේ."

අලුත ගෙනා මනමාලිය නිරෝෂා මගේ විශ්මය ජනක දැනුම ගැන උනන්දුවෙන් හුන්නා මිස වෙන කවුරුත් ඇහුම් කන් දුන්නේ නැත.

"කොහොමත් පල දෙන්නැති තැන" කියමින් නැන්දා ඉවත ගියාය.

ආයිමත් කාලය අප දුරස් කළේය. නංගිලා මල්ලිලා විශ්ව විද්‍යාලවල ගිය අතර ඒ නිසාම පොඩි අම්මා අපේ ගෙදර වැඩිපුර කාලය ගත කළාය. ඔවුන්ගේ ගෙදර ස්ථිර පදිංචි කාරිය වුයේ නැන්දා පමණි. නිරෝෂා මට තවත් බෝනික්කන් ගෙනාවාය. ඔවුහු වැඩෙමින් අපේ දවස කාර්යබහුල කළහ.
බොහෝ කලකින් නොගිය වැල්ලගොඩ අපට අමතකව ගොසිනි.

අපේ මතකය අවදි වුයේ සුනාමියෙනි. එහෙත් පැන්ෂන් එකේ ප්‍රශ්නයක් හදා ගන්නට නැන්දා කොළඹ ඇවිත් අපේ ගෙදර නැවතී හුන් බැවින් එදා ඒ ව්‍යසනය අපට පුද්ගලික කඳුළු ගෙනාවේ නැත. පොඩි අම්මලාගේ ගෙදර කන්ද උඩ නිසා හානියක් උනේද නැත.

ආයිමත් කාලයේ මී රාල ජීවිත රෝදේ කරකවමින් දුවන්නට විය.

සුනාමියෙන් වසර කිහිපයකට පසු නැවත වැල්ලගොඩේ යන්නට වුයේ පියසෝම බාප්පා ගේ අභාවයෙන් විසිපස් වසරක දානෙටයි. පොඩි අම්මා විසින් සංවිධානය කර මල්ලිලා හා නංගි විසින් බර පැන දරා නැන්දාගේ ද අනුශාසකත්වය යටතේ එය හොඳින් සිදුවිය. 


පසුදින අපි හැමෝම හන්දිය දිහාවට ඇවිදිමින් උන්නෙමු. සුනාමිය වැල්ලගොඩ වනසා ඇත. හන්දියේ කඩ තිබු ගොඩනැගිලි වල සුන්බුන් තවමත් තිබේ. ඒ අතරින් තවමත් හිස ඔසවා පාලු කඩේ වැජඹේ.

හතර වටේ බිත්ති හා වහලය මිස අන් කිසිවක් ඉතිරි නොවන පරිදි එයද විනාස වී ඇත. බිඳී ගිය ගොඩනැගිල්ල නැවත සකසා එහි සාර්ථක තොග කඩයක් දමා ඇත. කවදාවත් නැති තේජසකින් එය දිලේ. අනික් ව්‍යාපාර මෙන් අරඹා මාස කිහිපයකින් මෙය වැසී නැත. වසර ගණනක් වර්ධනය වී අද වැල්ලගොඩේ ජය ම කඩය පාලු කඩේ ඇති තොග කඩයයි.

"අන්න දැක්කද මං කිව්ව කතාව. තොග කඩයක් කියන්නේ අත්‍යාවශ්‍ය දෙයක්. අනික ඕන බඩුවක් එකේ තියෙනවා. අනිත් කඩ වලට වඩා ගානත් අඩුයි. ඒකයි මං කිව්වේ. කලින් අය බිස්නස් තෝරපු විදිහේ වරද"

සාපේක්ෂතාවාදය ඔප්පු කල අයින්ස්ටයින් මෙන් මම සීහනාද කලෙමි.

"අනේ මන්ද කොළඹ මහත්තයා" වියපත් සිහින් හඬින් නැන්දා කෙඳීරුවාය.

"සුනාමිය වැදිලා කඩේ බිත්ති දෙක විතරයි ඉතිරි උනේ." ඇය යමක්  ගොඩ නගයි.

"ඉතින්" අද නම් මා සටන අතහරින්නේ නැත.

"දැන් ඔය අලුතින් හදපු කඩයක්නේ තියෙන්නේ. ඉතින් කලින් එකේ තිබ්බ දෝස දැන් නැතුව ඇති" නැන්දා තවමත් අපරාජිතයි.

"සුනාමි බිල්ලත් අර ගත්තනේ කඩෙන්" පොඩි අම්මා අනුපානය දමයි.

දහස් ගණන් මිනිසුන් ගිලගෙන දේපොළ කුඩුපට්ටම් කර රටක් වැනසූ සුනාමියද අපේ හිත් වල අහුමුලු සුද්ද නොකර පැරණි අඳුරේම අප තබා ගොස් ඇත. වසර දහස් ගණනක ඇදහිලි ප්‍රවාහයක් ඉදිරියේ හිට ගන්නා කුහුඹුවෙකු වැනි හැගීමකින් මා සලිත විය. සුනාමියක් මෙන් නැගෙන ඒ රැල්ලේ නැන්දා පිහිනමින් සිටිනු මට පෙනේ. සටනේ පරාජය බාර ගන්නට පළමු වරට මට සිතුනි. මගේ මතය මටම තබා නැන්දාගේ මතය නැන්දාට තියා ගන්නට ඉඩ හැර ගනුදෙනුව පියවන්නට තීරණය කලෙමි.

+++++         +++++

වැල්ලගොඩේ හන්දිය ළඟ මූද කාපු තැන තට්ටු දෙකේ කඩයකි. මේ කඩයට ගම් වැස්සෝ තව දුරටත් "පාලු කඩේ" කියා කියන්නේ නැත. මම ද පාලු කඩේ අමතක කර දැම්මෙමි.